දහම් පාසැල් පෙළ පොත් වල ඇති ඇතැම් පාඩම් ඉගැන්වීමේදී,
1. ජාතක කතා වල නම්
2. ජාතක කතාවකින් උපුටාගත් කොටස්
3. ගිහි හෝ පැවිදි චරිත වල නම්
4. බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවක් හෝ සිදුවීමක්
5. බෞද්ධ ඉතිහාසයට අදාල වැදගත් අවස්ථාවක් හෝ සිදුවීමක්
6. සූත්‍ර දේශනාවක නිධාන කතාවේ සාරාංශය
7. සූත්‍ර දේශනාවක එක් කොටසක් හෝ පාඨයක්
ආදිය එම පාඩම් වල ඇතැම් තැන් වල සඳහන් කොට තිබෙනු නිරීක්ෂණය කොට ඇති බව නොඅනුමානය.

එවැනි එක් අවස්ථාවකට උදාරහරණයක් ලෙස, දහම් පාසැලේ 9 ශ්‍රේණියට අදාල පෙළ පොතේ 8 වන පාඩම වන “නිරෝගී දිවියකට සුවදායී නින්දක්” යන පාඩමේ (40-42 පිටු) තැනෙක සඳහන්ව ඇති පහත ඡේදය දැක්විය හැක.

“බුදුරදුන්ගේ කාලයේ වැඩසිටි චක්ඛුපාල තෙරණුවෝ ඉතා ඉක්මනින් රහත් ඵලය ලබා ගැනීම සඳහා නිදි වර්ජිතව භාවනා කළහ. රහත් ඵලය ලැබුණත් නිදි වර්ජිතව ක්‍රියා කිරීමෙන් ඇස් දෙකම රෝගී වී අන්ධ භාවයට පත්වූහ.”

ඉහත ඡේදයෙහි චක්ඛුපාල තෙරුන්ගේ නම සදහන් කොට හෙතෙම අන්ධ භාවයට පත් වූ බව සඳහන් කොට තිබුනද, ඔබ අප දන්නා පරිදි සැබවින්ම චක්ඛුපාල තෙරුන්ගේ කතාවස්තුව මෙයට වඩා දීර්ඝ වන අතර, පූර්ව කර්මයන් විපාක දීම පිළිබඳව වන රසවත් මෙන්ම, දහම්පාසල් දරුවන්ට වැදගත් වන ආදර්ශ සපිරුණු කතාවස්තුවකි. එහෙත් සම්පූර්ණ චක්ඛුපාල තෙරුන්ගේ කතාවස්තුව ඉදිරිපත් කිරීම පාඩමට උචිත නොවන සහ පාඩම ඉතා දීර්ඝ වීමට හේතුවක් වන බැවින් එසේ සැකෙවින් දක්වා තිබුනද, පාඩම උගන්වන අතරතුර අදාල ගුරුවරයා සමස්ථ කතාවස්තුවම දරුවාට කියාදිය හැකිනම්, එය පාඩමේ ඒකාකාරි බව මගහැරගැනීමට උපකාරී වනවාක් සේම, දරුවාගේ පාඩමට පරිබාහිර දැණුම වර්ධනයටද මහඟු පිටිවහලක් වනු ඇති බව නොඅනුමානය.

එක් උදාහරණයක් පමණක් දැක්වූ නමුත්, එසේ පාඩමක් උගන්වාගෙන යන අතරතුර පාඩමට අදාල නොවන නමුත් දරුවාගේ දැණුම වර්ධනය කරගැනීමට උපකාර කරගතහැකි එවැනි තැන් මගහැරගෙන යනවාට වඩා ඒවාද දරුවාට උගන්වමින් පාඩම කරගෙන යෑම, ගුරුවරයාට මෙන්ම දරුවාටද වඩාත් සුන්දර අත්දැකීමක් වනු ඇත.

නමුත් එවැනි අතුරු කතාවස්තු ආදිය විස්තර විග්‍රහ කිරීමට,
1. අවශ්‍ය පමණ දැණුමක් ගුරුවරයා සතු නොවීම
2. කතාවට අදාල ඇතැම් තැන් ගුරුවරයාගේ මතකයෙන් ගිලිහී ගොස් තිබීම
3. ගුරුවරයාද එම කතාවස්තුව කිසි දිනෙක අසා නොතිබීම
වැනි ප්‍රායෝගික ගැටළු ඇතිවිය හැකි බව අත්දැකීමෙන්ම දනිමු.

6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම්පාසල් පෙළ පොත් වල පාඩම තුල සැකෙවින්, විස්තර විග්‍රහ කොට නොමැතිව දක්වා ඇති, ජාතක කතා වල නම්, ජාතක කතා වලින් උපුටාගත් කොටස්… ආදී, ප්‍රථමයෙන් සඳහන් කොට ඇති අවස්ථා, සවිස්තරාත්මකව ඉදිරිපත් කොට,
1, පාඩම සාර්ථකව ඉගැන්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට දීම
2. ඉහත ප්‍රායෝගික ගැටලු මගහරවාගැනීමට උපකාරයක් වීම
3. දහම්පාසල් ගුරුවරුන්ගේ මෙන්ම දූ දරුවන්ගේ පෙළ පොතට පරිබාහිර දැණුම වැඩිදියුණු කරවීමට උපකාරයක් වීම
යන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා අතුරු ලිපි පිටුව වෙන් කොට ඇත.